කෙහෙරැල් කඩාගෙන - සේනානායක වේරලියද්ද | Keherel kadagena - Senanayaka Weraliyadda


කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ //

නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා
සියොළඟ දුවන්නේ පියකරු සුපෙම්වතා
වන වදුලක සැඟවුණ සිව්පාද සතා
සමග ඔබී ඔබෙ කරවට කිඳුරු පබා

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ

තුරඟුන් නිදන ඉස්තාලය අතේ අරන්
අරියාදුවට දුන් සිනහව සින්න කරන්
කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්
කිරිගරුඬෙන් බේසම ළඟ පතුල බලන්

කෙහෙරැල් කඩාගෙන ආදර අරුණැල්ලේ
නාඹර නුරා නුඹ ළඟ ඉඳ දිය නෑවේ
බැල්මෙන් කතාවෙන් කලබලයක් නැත්තේ
කොහොමද ළඳුනි ඔය විධියට හැඩ බැලුවේ //


ගායනය - සේනානායක වේරලියද්ද
ගී පද - පද්මකුමාර මෙත්තසේන
සංගීතය - තරුපති මුණසිංහ



Comments

  1. Replies
    1. සරලව කිව්වොත්
      “ගමෙන් නගරයට ගොස් වැඩ වරද්දගත්ත පෙම්වතිය ගැන අදහසක් කියල තමයි හිතෙන්නේ..“
      බලමු ඉදිරියේදී විද්වත් අදහසක් බලාපොරොත්තු වෙමු.

      Delete
  2. පුරඟුන් යන වචනය තුරඟුන් ලෙස නිවැරදි වියයුතුය..

    ReplyDelete
  3. කෙහෙරැල් කඩාගෙන ආදර අරුනැල්ලේ..
    නාඹර නුරා නුඔලඟ හිඳ දිය නෑවේ
    ගැමි ලඳකගේ රූසපුව දැක විඳ ගැනීමට ඇති හොඳම ස්ථානය නාන තොටය,දෙතන මඩලින් පහලට සිරුරටම ඇලී ඇති ඇගේ කෝමල රේඛා මනාවට පිලිබිඹු වේ ,ඈ අසල දියනාන මේ තරුණයාට ඇයගේ පිරිපුන් අනුරාගී රුව තුලින් ඈ කෙරෙහි ඇල්මක් උපදී.
    අලුයම හිරු කිරන මෝදුවන්නා සේම ඔහුටද ඈ කෙරෙහි ආදර හැඟුමක් මෝදුවෙයි,සන්සුන් බැල්ම හා කතාවිලාසයට ඔහු ලැදිය,ඇය මේතරම්ම හැඩවූයේ කෙසේදැයි ඔහු ඇයගෙන් විමසයි

    නිතරම පෙරෙන්නේ සරදම් කවට කතා

    එහෙත් ඇය ඔහුදෙසට එල්ල කලේ සරදම් සහ උපහාසාත්මක වදන්මය
    සියොලඟ දුවන්නේ පියකරු සුපෙම්වතා..
    සිරුර පුරා දුවන රුධිරයේ පවා ඇයගේ සුපෙම්වතා සිටි බව පවසන්⁣නේ උපහාසයෙනි,ඒ තරමටම ඈ සිටියේ උජාරුවෙනි..
    එහෙත් ඔවුනිගේ නොගැලපීම තරුණයා දකිනිනේ වනයේ වෙසෙන සිවුපා සතෙකු ප්‍රභා විහිදුවන කිඳුරියක හා එක්වූ ලෙසය
    එය අපූරුවට වනවදුලේ සැඟවුනු සිවුපාද සතා සමඟ ඔබී ඔබෙ කරවට කිඳුරු පබා,ලෙස ගෙනහැර දක්වයි,
    එහෛත් ඇය සිතූ ලෝකය දැන් නැත,අශ්ව ඉස්තාලයමෙන් ඇගේ සිත නොසන්සුන්ය ,සැනසුම නැත
    එහෙත් ඇය තරුණයා ට පෙරදා දුන් අරියාදු,උපහාසාත්මක සිනහව තාමත් ආයාසයෙන් රඳවා ත⁣බාගෙන ඇත
    අරියාදුවට දුන් සිනහව සින්න කරන් ..යනුවෙන් කියැවෙන්නේ එයය,
    කයිවාරුවට නවගුණ වැල තුරුළු කරන්,
    ලෝකයාට පෙනෙන්න⁣ට ඇයගේ නොසන්සුන්බව වසා සන්සුන් ලෙස පෙනී සිටියි,එහෙත් තරුණයා ඇයට ඇයගේ උජාරු නිවසේ කිරිගරුඬ බේසමේ පතුල බලන්න යැයි කියයි,ජලය පිරවූ බේසමක පතුල බලනවිට ඇයට ඇයගේම මුහුණ දැකියහැක තරුණයා ඇයට පවසන්නේ ලෝකයාට බොරුකලද ඇයට තමාදෙසම බලන ලෙසය,එමෙන්ම ඇයගේ යටිසිත ඇයට වඩා හොඳින් තමන් දන්නාවගද හඟවයි
    ****************************
    රචකයා ගීතය පුරාවටම අපූරුවට උපහාස රසයගැමි වහර සහ ජනකවි ආර ඇසුරු කරගෙන සියුම්ව විහිදුවාඇත,ඊට පිටිවහලක්වනලෙස සංගීත අධ්‍යක්ෂක වරයාද බටනලාව,බුම්මැඩිය හා ගැමි නාදරටා ආශ්‍රිත කරගෙන නිර්මාණය ඔපමට්ටම් කරඇත,වේරලියැද්දයන්ගේ ගැමි කටහඬ ගීතයේ අරුත තීව්‍ර වනසේ හසුරුවමින් මනා සාධාරනයක් කර ඇත..
    (ගායනයෙන් වේරලියද්ද ජනප්‍රිය වී ඇතත් සැබවින්ම ඔහුගේ ⁣කෙෂ්ත්‍රය නර්තනය බව බොහෝ දෙනෙකු නොදනිති,හෙතෙම රාජ්‍ය නර්තන කණ්ඩායමේ සිටි සාමාජිකයෙකි)

    ReplyDelete
  4. බොහොම ස්තූතියි 🙏 අදහසක් ආවා

    ReplyDelete
  5. ස්තූතියි වදන් ගැලපුමට.........

    ReplyDelete

Post a Comment

දැණෙන යමක්... නැතිනම් පදවල වරදක්... දන්න දෙයක්... එහෙම නැත්තං ඔබට පද අවශ්‍ය වන ගීයක්...